Wednesday, December 15, 2010

සිත්විලි

හෙණ ගගහා ඇද හැලුනු මහ වැස්ස තුරල් වෙලා යන්තම් , හද එළියට මුතු කැට වගේ දිලිහි දිලිහි තිබුනු පිණි කැට යන්තම් ඉර ඇස් අරින කොටම කදුළු වෙලා මහ පොළවට වැටෙනවා , ඒ පිණි කදුළු වලින් හේදුනු තණ පත් හීගඩු පිපෙන තරමට සීතලයි. රේල් පාරට ඔබ්බෙන් අස් මානයේ පෙනෙන මහ මුහුද, රැලි නගන දිහා බලාගෙන ගාලු පාරෙ සුදු කඩ ඉරි රේඛා ලුහුබැදගෙන දුවන රිය කවුළුව අතරින් සිරුර පුරා විනිවිද දුවන සුවදායක සිතල අතර,මම මගේ සිතුවිලි විමසුවෙමි. සිත්විලි මුහුද වගේ ඇස මානයේ අනන්තයට දිස්වෙන තොරක් නැතිව රළ නංන්වන බිදෙමින්, නැගෙමින් පිණි විසුරණ මහ මුහුද ව‍ගේ. මහ මුහුද අතොරක් නැතිව හැල්මේ මහා රළ නගමින් වෙරළ කරා දුවගෙන එන්නෙ හරියට සිමා පවුරු බිදගෙන මුළු මිහි තලයම සිනු විසුනු කරන්නට වගේ ඒත් මායිමට ලං වෙද්දි මුහුදෙ ඒ දග කාරකම් කොහෙදෝ මන්දා... වෙරළ ඉක්මවා යන්න මහා ශක්තියකින් හැල්මේ දුවගෙන එන රළ ගෙඩි වලට වෙරළ ඉක්මවා යන්න බැහැ වගේ , සිතුවිලිත් ඒ වගේමයි.ඉමක් කොනක් නිමක් නැතිව රළ නගමින් ඇදෙනවා ඒත් ඒ සිත්විලි රළ ඉසිඹුවකට වත් නුඹ ඉක්මවා යන්නෙ නෑ. හරියට වෙරළ ඉක්මවා නොයන රළ වගේ.

සිතේ තියෙන සිතුවිලි ඔහේ ගිරවෙක් වගේ කියලා දාලා , ඇස් දෙක දිහා බලාගෙන හිනා වෙවි ''ඇයි මුකුත් කියන්නැත්තේ'' කියලා අහන එක හරිම ලේසියි.ඒත් දන්නවාද, සමහර විට වචන වලින් කියනවාට වඩා , මුකුත් නොකියන නිහඩ සිතුවිලි වල තියෙන බර වැඩියි. නිහඩ සිතක් හුගක් ගැඹුරුයි . සමහර සිත්විලි සිතක් ඇතුලෙ සිර වෙලා උණුහුම්ව හංගාගෙන ඉද්දි හරිම සුන්දරයි හරියට වැස්සකට කලින් වතුර ගන්න වැවකට උඩින් පයන දේදුන්නක් වගේ හරිම සුන්දරයි. කොයි තරම් රස වින්දත් මදි කියලා හිතෙනවා. නිහඩ හිතක උපදින සිතුවිලිත් ඒ වගේමයි.

සුන්දර ඒ සිතුවිල්ලක් එක්ක හිතට තනිවෙන්න ලැබෙන එක ඇත්තටම භාවනාවක් . සමහර විට ඒ සිතුවිලි වචන කරන්න ගියොත් නොකිලිටි ඒ සිතුවිලි වල කදුළු ගැවේවි. හරිම ලෝබයි. ඇත්තටම මිනිස්සුන්ට තමන්ගෙ සිතුවිලි වචන නොකර හැගිම් කියන්නම බැරිද, එහෙම තේරුම් ගන්න පුලුවන් නම් මේ තරම් හිත් නොරිදේවි. සමහර මොහොතක වචන දහසකින් කියුවත් නොවැටහෙන කතාවක් එක හුස්මකින් කියලා ඉවර කරන්නට පුලුවන්, ඒත් ඒ සිතුවිල්ල ඒ උණුසුමින්ම අවබෝධ වේවිද.........

No comments:

Post a Comment